මාධ්‍ය‌වේදියා:

විදේශ  සබඳතා  අමාත්‍යාංශයේ  ලේකම්  රවිනාථ  ආර්යසිංහ මැතිතුමා සමඟ අප මීට පෙරත් කතාබහ කළා. අප සූදානම් අද දවසෙත් එතුමාගෙන් විමසන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වන කරුණු කිහිපයක්. විශේෂයෙන්ම ඔවුන්ට මේ අවස්ථාවේ කළ යුතු කාර්යභාරයන් මොනවාද, විදේශ  කටයුතු  අමාත්‍යංශයේ සියලූුම තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් ජෙනරාල් කාර්යාල හරහා ඔවුන් වෙත ඉටු කරන කාර්යභාරය පිළිබඳවත්.

ලේකම්තුමනි,

ලේකම්තුමා:

මගේ ඉල්ලීම, මමත් තාත්තා කෙනෙක්. මට තේරෙනවා අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තමන්ගෙ දරුවා මේ අවස්ථාව පිටස්තරව ඉන්න එකේ තියෙන කැක්කුම. නමුත් ඒ දරුවා නිරුපද්‍රිතව හොස්ටල් එකක කෑම බීම ඇතුව ඉන්නවා නම්, යම් හෙයකින් ප්‍රශ්නයක් වුනොත් තානාපති කාර්යාලයට ඇමතුමක් දිය හැකියි. තානාපති කාර්යාලයේ ඒ කටයුතු සම්පාදනය කෙරෙනවා නම් ලොකු ප්‍රශ්නයක් වුනොත් රජය මැදිහත් වන බව සක්සුදක් සේ දන්නවා නම් මම හිතන විදිහට මෙහෙ සිටින අයට යම්කිසි විදිහක අස්වැසිල්ලක් ලැබෙන්නට පුළුවන්. නමුත් මේ වගේ අවස්ථාවලදිී අපි දෙමව්පියො වශයෙන්, වැඩිහිටියො වශයෙන් ඒ අයට යම්කිසි තේරුමක් දෙන්න අවශ්‍යයයි ඔවුන් නැවත එන්න ගියොත් එයින් ඇති වන ප්‍රතිවිපාකය එයිට වැඩිය වැඩි කියලා. ඒ වගේම මං හිතන්නෙ මැද පෙරදිග අපේ සහෝදර සහෝදරියන්, මේ දිහා බලන්න අවශ්‍යයි. අපි උත්සාහ කරනවා සෑම අවස්ථාවකම ඔවුන්ගේ වීසා ප්‍රශ්න පිළිබඳව කටයුතු තියෙනවා නම් ඒවා දීර්ඝ කිරීමට. යම් තැන්වල ඇම්නෙස්ටීස් [amnesties] ලබා දී තියෙනවා. එම ඇම්නෙස්ටීස්වලින් [amnesties] ප්‍රයෝජන නොගෙන ඉන්නැති වෙන ආකාරයට ඒවා දීර්ඝ කරන්න. මං හිතන්නෙ අපි දැනට කරන්න අවශ්‍ය සියලුම දේවල් කරලා තියෙන්නෙ. හොඳ සම්බන්ධීකරණයක් ති‍යෙනවා කියලා අපි විශ්වාස කරනවා ඒ ඒ රටවල ඉන්න ශ්‍රී ලංකා පුරවැසියනුත් තානාපති කාර්යාලයත් සම්බන්ධව. එය වැඩි දියුණු කිරීම තමයි මේ අවස්ථාවේ තිබෙන වැදගත්කම. දෙවෙනි කරුණ අපි යම්කිසි ආපදාමය තත්ත්වයකට පත් වුණහොත් එම රටවල්වල සිටින පුද්ගලයෙකුට ‍ලොකු ප්‍රශ්නයක් මතු වුනොත් ඒ සඳහා මූණ දෙන්න ප්‍රමුඛතාවය සහ විභේදනය කරන්නෙ ‍කෙසේද යන්න අපි මේ වන විට සැලසුම් කරලා තියෙනවා. තුන්වනුව අපි කල්පනා කළ යුතුයි මේ ප්‍රශ්නය විසඳෙන දවසක් තියෙන බව. එම දවසට අපි සම්පූර්ණයෙන් වැටිලා හිටියොත් අපේ ආයතන නිර්යාත අඩාල වෙලා අපේ සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන් නැති වෙලා අපිට තියෙන ආත්ම ශක්තිය නැති වුනොත් ඒක විශාල ප්‍රශ්නයක්. අමාත්‍යාංශයක් වශයෙනුත් රටක් වශයෙනුත් අපිට පුළුවන් අපේ ඤාණ ශක්තියයි ශ්‍රම ශක්තියයි පාවිච්චි කරලා මෙහෙ ජීවත් වන අපිත් පිටරට අපේ ශ්‍රමික සියලුදෙනාත් මේ තත්ත්වය කළමනාකරණය කරලා මෙය අවසන් වුණු දිනක මෙයින් ගොඩ ඇවිත්, ගොඩ එ්ම විතරක් නෙමේ එක පඩියක් ඉහළ ඉඳන් ‍ගොඩ එන්න පුළුවන්කම තියෙනවා නම් මං හිතන්නෙ විශාල සහනයක්. අපේ තානාපති කාර්යාල සහ ඔවුන් සමඟ මේ අවස්ථාවේ දී කටයුතු කරන විදේශීය රටවල සිටින සියලූම ශ්‍රී ලාංකීය සංවිධාන, සමිති සමාගම්, ආගමික සමාගම්, පුද්ගලයො සියලු දෙනාටම මං මෙය අවස්ථාවක් කර ගන්නවා  ස්තූතිවන්ත වෙන්න. අපේ එකමුතු බව, ඒකාග්‍රතාවය, එක අරමුණක් කරා යෑමේ හැකියාව මොනවට ප්‍රදර්ශනය වන අවස්ථාවක් මේක. තව ටිකක් මේ අපහසුතාවය ජය ගන්නකන් ඒ කාර්යයය කරමු. ඉන් ඔබ්බට මේ තුළින් ඇති වුණ සම්බන්ධතාවය මං හිතන්නෙ අපේ ඒ ඒ රටවල තානාපති සේවයත් ඒ රටවල සමති සමාගම්වල තියෙන සම්බන්ධතාවය තව තවත් දියුුණු වෙන්නට ඉවහලක් වෙයි කියලා මං තරයේ විශ්වාස කරනවා.

මාධ්‍ය‌වේදියා:

අප විදේශ  සබඳතා  අමාත්‍යාංශයේ  සිට ඔබව රැගෙන යන්නෙ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. ඔවුුනුත් විදෙස්ගත ශ්‍රී ලාංකීය ප්‍රජාව, විශේෂයෙන්ම විගමණික ප්‍රජාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඩබ්. එම්. වී. වනසේකර මහතා:

කොරෝනා වෛරස් උවදුර ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟම  විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉතාම යුහුසුලුව ක්‍රියාත්මක වුණා. මොකද අපි දන්නවා දැනට ලෝකයේ විවිධ රටවල ලක්ෂ 15ක පමණ විදෙස් රැකියාවල ශ්‍රී ලාංකිකයෝ නිරත වී සිටිනවා.  ඒ වගේම රටවල් 15ක එහෙම නැත්නම් තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, කොන්සල් ජෙනරාල් කාර්යාල 16ක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්ය මණ්ඩලය ඒ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් නිරතව සිටිනවා. මේ සෑම තානාපති කාර්යාලයකටම චක්‍රෙල්ඛයක් මඟින් මේ ව්‍යසනකාරී තත්ත්වය මත අපේ ශ්‍රමිකයන් මූණපා සිටින තත්ත්වයන් යටතේ අවශ්‍ය ආධාර උපකාර ලබා දීම සඳහා එ් අයට මූලික වශයෙන්ම අවශ්‍ය මුහුණු ආවරණ නැත්නම් face masks ඒ වගේම අනෙකුත් ආරක්ෂක පියවර ගන්න අවශ්‍ය දේ වහාම ක්‍රියාත්මක කරන්න කියලා අපි උපදෙස් දෙන එක තමා පළමුවෙන්ම කළේ. ඒ වගේම අපි උපදෙස් දුන්නා තානාපති කාර්යාලවලට hotline එකක්. සෑම තානාපති කාර්යාලයකම, මං අර ඉස්සෙල්ලා කිව්ව 16ම ඒ අයගෙ තොරතුරු ලබා ගෙන ඒ අයගෙ අවශ්‍යතා කාර්යාංශ වෙත වහාම දැනුම් දෙන්න කියලා. ඒ වගේම අපි ආරම්භ කළා Whats App group එකක්. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ශ්‍රමිකයො සම්බන්ධයෙන්, මේ කොරෝනා වෛරසය ආසාදනය වුණා ද ඒ අය සම්බන්ධයෙන් ගත්ත පියවර මොනවාද සහ ඒ ආදි වශයෙන් විස්තර අපි වෙත දැනුම් දෙන්න පැය 24ම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක් අපි මේ වන විට ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම අවශ්‍යතාවයක් තියෙනවා නම් ගැටළුවක් තියෙනවා නම් අපගේ 1989 යන දුරකතනයට අමතා ඒ අවශ්‍යතා ගැටළු දැනුම් දෙන්න. ඒ නිසා ඔබ කිසි දේකට බය වෙන්න එපා. අපි ප්‍රාර්ථනා කරනවා ඒ විගමණික ශ්‍රමිකයින්ට මේ ව්‍යසනකාරී තත්ත්වය ඉක්මනින් පහව ගොස් නැවතත් පෙර පරිදි ඒ රැකියා කරගෙන තමන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට වාසනාව ශක්තිය ලැබීමට.